රෑ අහසින් ගීත විචාරය


දිගු නිහැඩියාවට පසු නැවතත් ගීත විචාරයක් ගෙන එන්න මගේ සිත ඇදී යන්නේ කලකට පසු සවනට පැණි බිඳක් මෙන් පතනය වුණු ඒ අලංකාර ගී පදපෙල වන කසුන් කල්හාරයන් ගායනා කරන රෑ අහසින් ගීතය වෙතටයි.


හොඳයි ඉතින් මේ ගීතය මන් පෙරදි සඳහන් කරනවා වගේම ගායනා කරන්නෙ කසුන් කල්හාර මහත්මයා වන අතරම මෙහි පද රචනය සංජය ඈපා සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන්නට විය.


ගීතය අසන්නට මත්තෙන් ම ගම්‍ය වන තේරුමකට වඩා එහා ගිය ශෘංගාර රසයක් මේ තුල අඩංගු වන නිසාම පෙර කී පරිදි මා සිත ඇදී යන්නේ අලුත් විචාරයකටය. 

පද රචනය දෙස මුලින්ම බලන කල ඇස් ඇදෙන්නේ වර්ශාවක ආරම්භයක් බව හොඳින්ම පැහදිලිය. ඒ බව පද රචකයා ලියා ඇත්තේ මෙසේයී


රෑ අහසින් වැටෙනා

බිංදු බිංදු පිනි බිංදු

නොපිපි මල සොයනවා

මුවාවී ඉන්න එපා හරි සීතයි

සීතලයි පින්න


නමුත් මෙහි එන සරල අදහසට එහා ගිය ගැඹුරු අර්ථය ගැන පමණක් මා අද කතා කරන්නට සිතමි. හේතුව සරල අර්ථය ඕනෑම කෙනෙකුට ගම්‍ය වන නිසාමය.


මෙතනදි පද රචකයා පාවිච්චි කරනවා රෑ අහසින් වැටෙන පිනි බිංදු. කවුද මේ රෑ අහස , මොනවද මේ පිනි බිංදු. මෙතනදි පිරිමියා සමාන වෙනවා රෑ අහසකට. සඳ තරු දරාගෙන විශාල වගකීම් රැසක් තියෙන අහසකට , ඒ වගේමයි පිනි බිංදු . හැබයි පිනි බිංදු සමාන කරන්නේ පිරිමියාගෙ කාම ආශාවට. අහසින් වැටෙන පිනි බිංදු අසීමාන්තිකයි. එතකොට නොපිපි මල කියන්නෙ තාම කන්‍යාවියක් වුණු ඒ පිරිමියගෙ පෙම්වතිය. රෑ අහසින් වැටෙන සීතල පිනි බිංදු එහෙමත් නැත්නම් මේ අසීමිත ආශාව එන්න විඳගන්න කියලා මේ පෙම්වතියට කරන ආරාධනය තමයි පලවෙනි පද පෙලෙන් රචකයා පෙන්වලා තියෙන්නෙ. 


සිප ගන්න බයෙන් මහපොලව

පිනි බිංදු හඬනව

නිම්නාද දී දෙතොලතර ඉඩදෙන්න

නවාතැන් පලවෙන්න

හරි සීතලයි පින්න


මහපොලව සිප ගන්න බයෙන් ඉන්න පිනිබිඳුත් තාම හඬමින් කල් ගෙවනවා. මෙතන ඉදන් රචකයා මේ ගීතය වෙනත් අන්තයකට යොමු කරන්න සමත් වෙනවා. මුලදි ගැහැණිය සමාන කල මල පොලොවට සම්බන්ධයි කියා ඔබ අප දන්නවා. ඉතින් මේ මහ පොලව , එහෙමත් නැතිනම් මලෙහි සාරවත් කඳ පිහිටා ඇති ප්‍රදේශය , තවත් කියතොත් ගැහැණියකගේ පහල කොටස ... සිපගන්න බයෙන් පසුවන මෙම පිරිමියා ගැන මේ පද පෙලෙන් ඉස්මතු කරනවා හරි අපූරුවට.

ඉතින් එහෙනම් පිනිබිංදු හඬනවා කීවේ කුමක්ද ? මෙතනදි මේ කාම ආශාවෙන් දැවුණු පිරිමියා මේ ලඟා කරගත නොහැකි ආශාව ගැන සිතමින් යම් තෘප්තියක් ලබන බව පැහැදිලි කරාදෝ යන්නක් මට සිතේ. 

එසේනම් සොඳුර ඔය දෙතොල් අතරවත් මට ඉඩක් දෙන්න නිම්නාද මැදින් මගේ ආශාව සංසිඳුවා ගන්න... මේ පිරිමියා පෙම්වතියගෙන් ඒ වගේ ඉල්ලීමක් මෙතනදි කරලා කියනවා නිම්නාදයක් ගැන. ඒ අදහස වෙන්නෙ ඇත්තටම හුස්ම වැටෙන සියුම් නාදය වගේ අදහසක්. 


අනෝරා පිනි යටින් තෙමි තෙමී ඇවිදින්න

ගිනි නැගෙනා ආත්මය පිනිදියෙන් දෝවන්න

සිරුරතර ඉඩ දෙන්න 

නවාතැන් පල වෙන්න

හරි සීතලයි පින්න


අනෝරා පිනි යන්නෙන් මෙතනදි අදහස් වෙන්නෙ දරාගත නොහැකිම අවස්ථාවක පිටකරන මේ ආශාව ගැන. ඉතින් මේ මොහොත වෙනවිටත් දෙදෙනාම යම් මට්ටමක ආශාවන් සංසිඳුවා ගැනීමක ඉන්නවා වන්නට ඇති. ඉතින් ඒ මොහොතේදී පිරිමියා විසින් තම පෙම්වතියට පවසනවා , ඉතින් දැන් දෙතොල් අතර රැඳුනා ඇති මේ පිනි දියෙන් ඔයාව දෝවන්න , මට ඔය සිරුර අතරෙම ඉඩක් දෙන්න. පිනි දියෙන් දෝවන්නක් යැයි මෙතනදි අදහස් උනේ නම් සම්බෝගයේ උච්ච අවස්ථාවක් ගැන. කෝම හරි ශ්‍රාවකයාගේ ශෘංගාරාත්මක රසය උපරිම කල මෙම ගීතයේ ගී තනුව ගැන කතා කලොත් ; මැද කොටසේ ස්වර ඉතා ඉහල උච්ච ස්වරයටත් අවසාන ස්වර කිහිපය මන්ද ස්වරයටත් ආකාරයෙන් වාදනය වේ. එනම් එයින් මෙම සිදුවීමේ උච්ච අවස්ථාවත් හා කෙමෙන් අඩු වී ගිය දෙදෙනාගේම ආශාවත් මනාව නිරූපණය කරයි.


ප.ලි. - අර්ථ දෙකකින් උසස් ශ්‍රාවක පිරිසක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් සංජය මහතා මෙම ගේය පද ඉතාමත් මැනවින් භාවිතා කර තිබිණි. ඉතින් ඒවා ඉතා ප්‍රවේශමෙන් විචාරයට නගා ගීතයට හානියක් නොකර , විචාරයේ සභ්‍යත්වයද රැකගනිමින් මෙම පද පෙල ඔබට මේ ආකාරයෙන් ගෙන එන්නට මා යම් උත්සාහයක් ගතිමි. මෙහි එන සමහර ගැඹුරු සාහිත්‍ය අර්ථයන් ඇතුලත් නොකල මුත් එයින් මගේ විචාරය කිසිදු අයුරකින් හානී වූයේ ද නැත. ඔබගේ දැනුම් මත තව තවත් මෙහි එන කොටස් විචාරයට නැගීමට ඔබට අයිතිය ඇත.

දැනගත යුත්ත නම් ; සාහිත්‍ය යනු අසභ්‍යත්වයද සභ්‍යව දැක එය මනාව ගලපමින් පාඨකයාට ඉදිරිපත් කිරීමයි...


එහෙනම් පහලින් ඔයාලගෙ අදහස් ලියාගෙන යන්න කියලා මන් ආරාධනා කරමින් අදට මෙතනින් නවතිනවා. මම,


පන්හිඳ නුහුරු කලාකරු 

• කසුන් ඉසුර